Open menu

බළන්ගොඩ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය

හැදින්වීම :

ශ්‍රි ලංකාවේ, සබරගමු පලාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව බලංගොඩ නගර සභාව වන අතර දුරදක්නා නුවණින් යුතුව සැලසුම් සහගතව කරන කසළ කළමණාකරණය තුලින් 2020 වර්ෂය අවසන් වන විට බලංගොඩ නගරය නිල්ල පිරුණු, පරිසර හිතකාමි ආනන්දණීය පුරවරයක් බවට පත්කිරිම එහි වර්තමාන නායකත්වයේ මුලික අරමුණ වේ. එදිනෙදා භාවිතයේ දි නොවැදගත් යැයි සිතා ඉවතලන ඕනෑම ද්‍රව්‍යයක් කසළ ලෙස හදුන්වනු ලැබේ.මෙය වර්තමානය වන විට ලෝකයේ අනෙතුත් රටවල මෙන්ම ශ්‍රි ලංකාව ද මුහුණ පා ඇති ප්‍රධාන ගැටළුවක්ව පවතින අතර නාගරික පරිසරය තුල දෛනික ව එකතුවන කසළ නාගරික පරිසරයේ සුන්දරත්වය කෙලසයි. ඒ සදහා මිනිස් සංහතියේ නොමනා ක්‍රියාකාරිත්වය සෘජුවම බලපානු ලබයි. අප එදිනෙදා පරිහරණය කරන සෑම දෙයක්ම ඉතා ඉක්මනින් හෝ පසුකාලිනව කසළ බවට පත්වේ. අද පුවත්පත් ගත්විට එය ඊලග දිනයේ කසළ බවට පත්වේ.දින දර්ශනය ගත් විට ඊලග වර්ෂයේ කසළ බවට පත්වේ. වර්තමානය වන විට කසළ ප්‍රබල පාරිසරික ගැටළුවක් මෙන්ම සමාජිය ගැටළුවක් ව පවති. එනම් ඊට පාරිසරික මුහුණුවරක් මෙන්ම සමාජිය මුහුණුවරක් පවතින බව පැහැදිලිවේ. කසළ නොදිරන හා දිරන ද්‍රව්‍ය විවිධ ප්‍රතිශතයන්ගෙන් සමන්විත වේ. දිරන ද්‍රව්‍යයන් ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරිත්වය නිසා ජිර්ණයට පත්වන අතර නොදිරන ද්‍රව්‍යයන් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගී කරගෙන නැවත නැවත ප්‍රයෝජනයට ගත හැක. එනම් ඊට ජිව විද්‍යත්මක මුහුණුවරක් මෙන්ම තාක්ෂණික මුහුණුවරක් පවතින බව මනාව පිළිඹිබු වේ. එනම් කසළ වලට පවත්නා පාරසරික හා සමාජිය මුහුණුවරත්, ජිව විද්‍යාත්මක හා තාක්ෂණික මුහුණුවරත් මනාව සංකලනය කරමින් ඊට ආර්ථික මුහුණුවරක් ලබාදිමට හැකිය. මේ වග මනාව අවබෝධ කරගත්තෝ කසළ කලමනාකරණය කරමින් ආර්ථික වාසි උදාකරගනී. බලංගොඩ නගරසභාවේ නායකත්වය මේවග මනාව අවබෝධ කර‍ගෙන ඇති අතර එය මනාව ක්‍රියාවේ යොදවමින් සාර්ථක කසළ කලමනාකරණ ව්‍යාපෘතියක් පවත්වා ගනිමින් පවති.

විශේෂ සිදුවීම් 

බළන්ගොඩ සැලසුම් සහගත ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රධාන අංග:
 වර්ෂය  සිදුවීම
 2000

• වර්ෂ 2000 වන විට කුඩා පරිමාණයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් තිබුණි.
• සඳුදා දිනයේ දි සතිපොළේ එකතුවන කසල පමණක් කොම්පෝස්ට් සෑදිමට යොදා ගෙන ඇත.
• නගරයේ දෛනිකව එකතුවන අනෙකුත් කසළ නාගරික අධිකාරියේ ඉඩමකට බැහැර කරිම.
• ප්‍රධාන මහජන පරික්ෂක නිමල් මහතා බළංගොඩ නගර සභාවට පැමිණිම.
• නාගරික අධිකාරියේ ඉඩමකට කසළ බැහැර කිරිම තහනම් කිරිම.
• දෛනිකව එකතු වන මෙ.ටො. 10 ක පමණ වන කසළ මාර්ගය දෙපස ගොඩ ගසමින් කසළ කලමණාකරන ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට නිලධාරින් කටයුතු කලහ.

 2001

 • පාර දෙපස වු කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය (leachat) කාණු පද්ධතිය ඔස්සේ කුඹුරු වලට එකතු විම හේතුකොටගෙන ප්‍රථම මහජන උද්ඝෝෂණය ඇතිවිය.
• ඉන් අනතුරුව වෑස්සෙන අපවිත්‍ර වු ජලය කුඹුරු වලට එකතුවීම වැලැක්විම සදහා අපවිත්‍ර වු ජලය එකතු වන ටැංකියක් ඉදිකරන ලදි. පසු කාලිනව එය තවදුරටත් වැඩිදියුණු කළේ ය.

 2002

 • මෙම වසරේ ඇති වු දේශපාලන පෙරලිය කසළ කළමනාකරණ ව්‍යාපෘතියට තදින්ම බලපෑවේය.
• 2002 ඔක්තෝම්බර් මාසයේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පුද්ගලිකකරණය සදහා ටෙන්ඩර් කරන ලදි.
• 2002 නොවැම්බර් 01 දා පුද්ගලික ආයතනයට පවරන ලදි.
• පුද්ගලික ආයතනය මගින් සේවකයන්ගේ දෛනික වේතනය කපාහැරිම නිසා සේවකයන් ව්‍යාපෘතියෙන් ඉවත්විම.
• 2002 නොවැම්බර් 14 දින දෙවන මහජන උද්ඝෝෂණය බළංගොඩ නගරසභාව වෙත එල්ල විය.
• බළංගොඩ නගරසභාව නැවත කසළ කලමනාකරණ ව්‍යාපෘතිය තම අතට පත්කරගෙන ක්‍රියාත්මක කළේ ය.

2003

 • 2003 වසර මුලදි සේවකයින් නැවත ව්‍යාපෘතිය හා එක් විම සිදුවිය.
• දෛනිකව එකතුවන කසළ දිරණ හා නොදිරණ ලෙස වර්ග කිරිම සිදුකරන ලදි.
• කසළ වෙන් කිරිමේදී ප්‍රතිචක්‍රිය කල හැකි ද්‍රව්‍ය වෙන වෙනම වර්ග කිරීම සිදුකරනු ලැබිය.
• කාබනික පොහොර සෑදිමට යොදාගන්නා විවෘත ලුප ක්‍රමයේ (Open Window System ) කසළ ගොඩවල ප්‍රමාණය අඩි 5×12 දක්වා කුඩා කරන ලදි.

 2004

 • 2003 දි නව මුහුණුවරකින් ආරම්භ කල ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට කරගෙන යන ලදි.
• පොහොර අලෙවි කරගැනිමේ ගැටලුවකට මුහුණ දිමට සිදුවිය.
• නිෂ්පාදිත පොහොර ලොරියක පටවා ගත් නිමල් මහතා බෙදාහැරිමේ හා අලෙවි නියෝජිතයෙකු ලෙස ක්‍රියාකරමින් ජංගම අලෙවි සේවාවක් පවත්වා ගෙන ගියේය.

 2005

 • කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථකව සිදුකර‍ගෙන යමින් සාර්ථක අලෙවියෙන් වාර්තාගත ආදායමක් ඉපැයුවේය.
• කසළ කලමනාකරණ ව්‍යාපෘතිය පවත්වාගන යාම සදහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩමක් ලබාදිම.
• මේ ඔස්සේ යමින් ජාතික ඵලදායිතා තරගයේ දී පළාත් පාලන අංශයේ දිවයිනෙන් පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදි.
• බළන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රතිචක්‍රිය ද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානය ඉදිකිරිමේ වැඩකටයුතු ආරම්භ කිරිම.
• කාබනික පොහොර අලෙවියෙන් උපයා ගත් ධනය යොදාගනිමින් බොබ් කැට් (Bob cat) යන්ත්‍ර මිලදි ගන්නා ලදි.

 2006

 • සබරගමුව පළාත් සභාවෙන් ලැබුන රු.මිලියන 02 න් මිලියන 01 උපයෝගී කරගෙන ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ දෙවන මහලේ වැඩ අවසන් කිරීම හා දෙවන මහලේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
• ඉතිරි මිලියන 10 ක් වියදමින් Bob Cat යන්ත්‍රයක් ලබා ගැනීම. (Bob cat යන්ත්‍රය 29,75000.00 ක් වටිනාකමක් ඇති වාහනයක් වු අතර ලක්ෂ 10ක් ගෙවා එය මිල දී ගෙන ඉතිරි 1,975,000 මාස 06 ක් තුල වාරික 03 කින් ගෙවා ලබා ගැනීමට කටයුතු කරන ලදී.)

 2007

 • පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලැබුණ රු. ලක්ෂ 05 යොදාගෙන කසළ කළමණාකරණ මධ්‍යස්ථානයේ දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරිම සඳහා අඩි 60 ක් දිග අඩි 25 ක් පළල ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.

 2008

 • පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයෙන් ලැබුන රුපියල් ලක්ෂ 05 ක්ද නගර සභාවෙන් ලැබුන රුපියල් ලක්ෂ 03 ක් ද යොදාගෙන ලක්ෂ 08 ක වියදමින් රත්නපුර බලංගොඩ බලගහමුල මංසංදියේ දිරා නොයන අපද්‍රව්‍ය මිලට ගැනීමේ සම්පත් පියසක් ඉදිකර විවෘත කිරීම
• විවෘත කරන දිනයේදී පාසැල් 17 ක මුලිකත්වයෙන් කසල ‍පොළක් පැවැත්වු අතර මෙදින කසල පොළට ටොන් 4ක දිරා නොයන අපද්‍රව්‍ය එකතු වූ අතර ඒවා අලෙවි කිරීමෙන් රුපියල් 22000.00 ක ආදායමක් උපයන ලදී.මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම ගරු පරිසර හා ස්වාභාවික අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා විසින් සිදු කරන ලදී.

 2009 බලංගොඩ නගර සභාවට අඩුපාඩුවක්ව පවතින මළ අපද්‍රව්‍ය ප්‍රතිකර්ම පද්ධතියක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයෙන් ලැබුණු මිලියන 3.8 ක් හා නගර සභාවෙන් මිලියන 03 ක් ද යොදා සකස් කරන ලදී.
මෙම පද්ධතිය මගින් දිනකට මළ අපද්‍රව්‍ය (Waisht Soil) ලීටර් 10,000 ක් පිරිසිදු කිරීමට භාජනය කරන අතර මෙම ක්‍රමවේදය පහත අංශයන්ගෙන් සමන්විතය.
1. Receiving Tank
2. Sedemedativn Two Tank
3. Water Treatment Plant
4. Dry Bed.
මෙම ක්‍රමවේදය මගින් දිනකට පිරිසිදු කරන ජලය ලීටර් 6000ක් නැවත කොම්පෝස්ට් ව්‍යාපෘතිය‍ට ප්‍රයෝජනයට ගනී.එසේම මසකට night soil යොදාගෙන කාබනික පොහොර කි.ග්‍රෑ.5000 ක්ද නිපදවීමට මෙය ‍යොදා ගනී.එසේම පාසැල් ආශ්‍රිතව දිරා නොයන අපද්‍රව්‍ය එකතු කිරීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයෙන් ලැබුණ රුපියල් මිලියන 01 ක් ද ,ලර්න් ඒෂියා ආයතනයෙන් රු.30,000.00 ක් ද, පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජාතික ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් 255,000.00 ක් ද නගර සභාවෙන් රුපියල් ලක්ෂ 3 ක්ද යොදාගනිමින් නගරයෙන් ‍‍තෝරාගත් පාසල් 05 ක
එනම් :
1. ර/ඇග්නස් බාලිකා විද්‍යාලය
2. ර/බුද්ධ ජයන්ති විද්‍යාලය
3. ර/විද්‍යාලෝක විද්‍යාලය
4. ර/සී.සී.දෙමළ විද්‍යාලය
5. ර/‍ජෙයිලානි මුස්ලිම් ජාතික පාසල
යන පාසැල් වල සම්පත් කේන්ද්‍ර 05ක් සකස් කර විවෘත කිරීම. මෙම සම්පත් කේන්ද්‍ර මගින් දිරා නොයන අපද්‍රව්‍ය වර්ග 16 ක් මිලදී ගැනීමට සැලැස්වීම.මෙම ද්‍රව්‍ය කෙලින්ම මුදල් දී මිල දී ගන්න අතර ලකුණු ලබා ගැනීමේ ක්‍රමයක්ද සකස් කර ඇත.
 2010  • නිවාස මට්ටමින් කසල කිරීමේ වැඩ සටහනක් හදුන්වා දීම.
• කසල බද්ද එකතු කිරීම විධිමත් කිරීම.
• දිරා යන කසල වෙන් වෙන් වශයෙන් එකතු කිරීම.
 2011  • ඝන අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම.
• නාගරික කැලි කසල උපයෝගී කරගෙන කාබනික පොහොර නිපදවන යන්ත්‍රයක් හදුන්වා දීම.(ජපානයේ නකනංවෝරී ලිමිටඩ් ආයතනය)
• පළාත් පාලන ආයතන වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.
 2012  • ප්ලාස්ටික් ,පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
• ගලිප්‍රතිකාර පද්ධතිය පුළුල් කිරීම.
• ගලිප්‍රතිකාර පද්ධතිය සදහා විශේෂ බැක්ටීරියා ක්‍රමයක් සකස් කිරීම.
 2013  • කසල වෙන් කර ලබා ගැනීම ආරම්භ කිරීම.
• ජපන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යන කටයුතු වලට පැමිණිම.
• ගලි ප්‍රතිකාර පද්ධතියේ Dry Unit එක සදහා නව කොහු මෙට්ට යෙදීම.
 2014  • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ’තකකුරා කොම්පොස්ට් ” ක්‍රියාවලිය හදුන්වා දීම.
• තකකුරා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබදව පුහුණු වැඩමුළුවක් පැවැත්වීම.
• ආධුනික ම.සෞ.ප. වරුන් අපද්‍රව්‍ය කළමණාකරණයට අදාළව වැඩමුළු පැවැත්වීම.
• කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතවලට හා පරිසරයට සිදුවන හානිය පිළිබද මහජනතාව කරන ලද චෝදනාවන් ඵල රහිත බවට මධ්‍යම පරිසර අධිකාරිය පර්යේෂණ වාර්තා අනුව තහවුරු වීම.
 2015 • කම්පැක් යන්ත්‍රය සවි කිරීම.
• කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා අත් හදා බැලීමේ යන්ත්‍රයක් සවි කිරීම 
 2016 • බැංකියවත්ත ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ බැම්ම අධික වර්ෂ‍ාව නිසා ගැල වී යාමෙන් කසළ, වැසියන්ගේ ඉඩම් තුළට හා වෙල් යායට ඇතුල් වීම.
• බැංකියවත්ත ජනතාව කැළි කසළ සහ ගලිය රැගෙන යාමට එරෙහිව මාර්ගය හරස් කර උද්ඝෝශනයක් ආරම්භ කර කැළි කසළ බැහැර කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම.
• සභාවේ යන්ත්‍ර සහ සේවකයන් යොදා වැසියන්ගේ ඉඩම් ශුද්ධ පවිත්‍ර කිරීම.
• කසළ කළමණාකරණ මධ්‍යාස්ථාන තාවකාලිකව වසා දැමීම.
• උද්ඝෝශනයන් ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹීම
• නගරයේ එකතුවන කැළි කසළ බැහැර කිරීම සදහා විකල්ප ස්ථ‍ාන වලට යොමු කිරීම.
• කසළ බැහැර කිරීම සදහා සුදුසු ස්ථානයක් නොමැති වූ බැවින් දින 2 ක් 3ක් නගරයේ කැළි කසළ ඉවත් කිරීමට නොහැකි වීම.
• තාවකාලික විකල්ප ස්ථාන ලෙස පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවේ කසළ කළමනාකරණ මධ්‍යාස්ථානයට නගරයට එකතු කරන ලද කැලි කසල බැහැර කිරීමට පියවර ගැනීම. 
 2017  • බැංකියවත්ත ගම්වාසීන් සබරගමු පළාත් පාළන සහකාර කොමසාරිස් සහ නගර සභාව එකඟතා ගිවිසුමක් මත ගම්වැසියන්ගේ විරෝධතා ඉවත් කර ගැනීම.
• දින කිහිපයක් ඇතුළත නගරය පිරිසිදු කර යථා තත්වයට පත් කිරීම.
• බැංකියවත්ත කසළ කළමනාකරණය ව්‍යාපෘතියේ පරිපාලන හා කළමනාකරණය වෙනස් කිරීම.
• මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ස්ථාන මාරු කිරීම හා නව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ගේ සේවය ලබා ගැනීම.
• ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරීම.
• බැංකියවත්ත කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කැඩි ගිය බැම්ම නැවත අලුතින් ඉදිකිරීමට ආරම්භ කිරීම.
2018

ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලිය පුද්ගලික අංශය සමග ඒකාබද්ධව කටයුතු කිරීම.
කොම්පෝස්ට් හැලීම සඳහා භාවිතා  කරන යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු සිදුකිරීම.
කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා දේශීය තාක්ෂණය උපයෝගී කර ගනිමින් කොම්පෝස්ට් හලන යන්ත්‍රය නඩත්තු කටයුතු සිදුකිරීම.
කසල (Pile) ගොඩගැසීම සඳහා දේශීය තාක්ෂණයෙන් යුතු යන්ත්‍රයක් හඳුන්වා දීම.

 2019

කාබනික පොහොර අලෙවිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ  සටහන් පැවැත්වීම.

    ඒ වෙනුවෙන් කෘශි පර්යේෂන නිළධාරීන් සුඵ අපනයන ‍බෝග සම්බන්ධ නිලධාරින්  සහ කුඩා තේ වතු ව්‍යාපාරය හා සම්බන්ද නිලධාරීන් සහභාගී කරවා තැබීම.

 2020

නගර සභා සම්බන්ධීකරණ උප කාර්යාලයක් පිහිටුවීම.

     එමගින් කාබනික පොහොර අලෙවිය සහා පොලිතින් ප්ලාස්ටික් සහා අබලි ද්‍රව්‍ය  අලෙවි  කටයුතු  වලට අදාල බිල්පත් ගෙවීම් ආදි කටයුතු  ගැනුම් කරුවන්  හට එම ස්ථානයේදීම සිදුකිරීමේ පහසුකම් සලසා දීම.

2021 නව ගලි වියලුම්කාරක ( Dry B ed ) පද්දති ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.
2022

 

ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්ක්‍රීකරණ මධ්‍යස්ථානය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව සිදුකිරීම.

නවක ම.ස.ව වරුන් සදහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සම්බන්ධයෙන් පුහුනු වැඩමුලු  පැවැත්වීම.

ආහාර සුරක්ශිත වැඩසටහන් යටතේ තුඔ‍ග‍ොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පවුල් 150 ක් සදහා කොම්පෝස්ට් පොහොර 20kg බැගින් නොමිලේ බෙදා දීමට කටයුතු කිරීම.

 

  1. වීදි අතුගෑම
  2. කසළ එකතු කිරිම
  3. කාණු පවිත්‍ර කිරිම
  4. එකතුකරන ලද කසළ කොම්පෝස්ට් අංගනය කරා ගෙන ඒම

01. විදි අතුගෑම

• සාමාන්‍යයෙන් ප්‍රධාන වීදි සදහා මාර්ගය දෙපස කම්කරුවන් දෙදෙනෙකු යෙදවිම
• එක් දිනකට එක් සේවකයෙකු විසින් කි.මි 1 දුර ප්‍රමාණයක් අතුගෑම කල යුතු විම
• සේවකයන් දිවා රාත්‍රි වැඩ මුර දෙකකට සේවයේ යෙදවිම
• අඩුම තරමින් සතියකට වතාවක් වත් මාර්ගයේ වැලි ඉවත් කිරිම
• සෑම සේවකයෙක්ම කසළ එකතුකිරිමේ වාහන වීදි වලට පිටත් විමට පැය භාගයකට පෙර වීදි අතුගැම සදහා පිටත් විය යුතු විම

02. කසළ එකතු කිරිම

• දෛනිකව කසළ එකතු කිරිම මාර්ග සිතියමක් අනුගමනය කරමින්, යම් කාලසටහනකට අනුව සිදුකිරිම
• සෑම මාළු හා මස් වෙළදසැලක් සදහාම අපද්‍රව්‍ය එකතුකිරිම සදහා බැරල් ලබාදි තිබිම.
• මාළු හා මස් වෙළදසැල් කසළ එකතු කිරිමේ මාර්ග සිතියමේ අවසානයේ පිහිටා තිබිම.
• නගර සභාව සතු රෝද හතරේ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් හා කරත්ත යොදා ගනි.
• කසළ එකතු කිරිම සදහා ලොරි ඩස්බින් යොදා ගැනිම.
• විදි කසළ එකතු කිරිම සදහා එක් වාහනයකට සේවකයන් දෙදෙනෙකු පමණක් යෙදවිම.
• සෑම වීදියකම දෛනිකව එකතු කරන දිරන කසළ ට්‍රැක්ටර් රථ 04ක් මගින් දිවා රාත්‍රි වශයෙන් සේවා මුර 02 කින් එකතු කරනු ලබයි.
• කසළ එකතු කිරිම සදහා Bell Collection ක්‍රමය හදුන්වා දි තිබිම.
•එකතු කරන ලද කසළ සාමාන්‍යයෙන් විනාඩි 45ට වරක් කසළ ලෝඩ් එක බැගින් අවසන් බැහැර සිදුවන කොමිපොස්ට් අංගනය වෙත පැමිණෙයි.

03. කසළ වෙන් කිරිම

• දෛනිකව එකතු වන වෙන් කරන ලද දිරන කසළ එදිනම කොම්පෝස්ට් පොහොර සැකසීමේ ක්‍රියාවලිය‍ට යොමු කරයි.
• වර්ග කරන ලද නොදිරන කසල එකතු කරනු ලබන ට්‍රැක්ටර් රථ දෙකෙහි අඩංගු ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය කඩදාසි, කාඩ්බෝඩ්, ටින්, යකඩ, පරණ ටයර හා ටියුබ්, පොල් කටු ආදි ලෙස වෙන් කර සම්පත් පියස වෙත භාරදෙනු ලැ‍බේ.
මෙහිදී එකතු වන පොලිතීන්, ප්ලාස්ටික්, බෝතල් බැංකියවත්ත ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත ගෙනයනු ලබයි.

• දෛනිකව එකතු වන කසළ වලින් 75-80% දිරන ද්‍රව්‍ය ද ,15-20% නොදිරන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍යද, 5% ත් 8% ත් අතර බිම් පිරවිමට යොදාගන්නා ද්‍රව්‍ය ද පවති.

 04. දිරන කසළ වලින් කොම්පොස්ට් සැදිමේ ක්‍රියාවලිය

• වෙන් කරනු ලබන කසළ උපයෝගි කර‍ගෙන දිග අඩි 12 ද ,පළල අඩි 5 ද උස අඩි 6 ද වු කසළ ගොඩවල් විවෘත ලුපයක් (Open Window) ආකාරයට සාදනු ලබයි.
• මෙලෙස සාදාගන්නා කසළ ගොඩවල් සති 6ක කාලයක් තබනු ලැබේ.
• මෙලෙස විවෘත ලුපයක් (Open Windrow) ආකාරයට සැදු කසළ ගොඩවල් වලට පැය 6ක පමණ කාලයක් ගතවන විට කසළ වල අඩංගු අපවිත්‍ර වු ජලය වෑස්සිමට පටන් ගනි. එම අපවිත්‍ර වු ජලයේ ජිව රසායනික ඔක්සිජන් ඉල්ලුම හා ආම්ලිකතාව ඉහල අගයක් ගනි. මෙම දියරය දුර්ගන්ධය හැමිමට හා මැස්සන් බෝවිමට හේතු වේ. මෙම වෑස්සෙන අපවිත්‍ර වු ජලය (Leachate) කොන්ක්‍රිට් කල කානු දිගේ ගෙනවිත් ටැංකියට එකතු කිරිම සිදුවේ.
• අනතුරුව 1:1000 අනුපාතයට පිරිසිදු ජලය සමග මිශ්‍ර කර නැවත කසළ ගොඩවල් වලට ඉසිම සිදුකරයි.
• වියළි කාලයේ දි පැය භාගයකට වරක් කසළ විවෘත ලුප (Open Window) මතට ඉසිම සිදුකරයි.
• මෙම ක්‍රියා වලිය මුල් සති 6 තුල කසළ ගොඩවල් වල උෂ්ණත්ව යාමනයට හා බැක්ටීරියා වර්ධනය, ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පරිසරය සැකසිම සිදු වෙයි.
• සති 6ක කාලය අවසානයේ අර්ධ වශයෙන් ජිර්යණ වු කසළ පෙරලිමට ලක් කරන අතර එමගින් කසළ ගොඩ හොදින් වාතනය වි ජිර්ණ ක්‍රියාවලිය ඉක්මන් විම සිදුවේ.
• පෙරලිමට ලක් කරන ලද කසළ ගොඩ මතට තනුක කල අපවිත්‍ර වු ජලය ඉසිම සිදු කරයි.
• නැවත සති 2ට පසු ජිර්ණය වු කසළ පෙරලිමට ලක්කර හොදින් මිශ්‍ර කරනු ලැබේ.
• දෙවන පෙරලිමෙන් පසු දිරිමට ලක් වු කොම්පෝස්ට් මද පවනේ වියලිමට හරිමින් තෙතමනය 8% දක්වා අඩුකරනු ලැබේ.
• තෙතමනය 8% පමණ වන අපද්‍රව්‍ය මිශ්‍ර කොමිපෝස්ට් හලනය තුලින් යවා කොම්පෝස්ට්, නොදිරන අපද්‍රව්‍ය වලින් වෙන් කිරිම සිදුකරයි.
බළන්ගොඩ නගර සභාවේ කොම්පෝස්ට් සෑදිමේ සුවිශේෂි වු අවස්ථා
• ස්වායු තත්ව යටතේ කසළ කොම්පෝස්ට් බවට පත්විම සිදුවේ.
• කොම්පෝස්ට් සාදන කසළ ගොඩවල් (Open Window Piles) විවෘත භූමිය පිහිටුවා තිබේ.මෙහි කොක්කු බහුලව සිටින අතර මෙය කොම්පොස්ට් සැදිමේ ක්‍රියාදාමයේ ගුණාත්මය නිර්ණය කරන ජෛව දර්ශකයක් ලෙස භාවිතා කරයි.
• මෙම කසළ ගොඩවල් කොකුන්ගෙන් තොර විම ,කසළ ජිරණය විමේ ස්වායු ක්‍රියාවලිය අභිබවා ,නිර්වායු ක්‍රියාකාරිත්වය තුලින් විෂ වායු ජනනය විම සිදුවේ.
• මිට පිළියමක් ලෙස කසළ ගොඩවල් වලින් වෑහෙන අපවිත්‍ර වු ජලය සමග හකුරු මිශ්‍ර කර සාදාගත් ද්‍රාවණය දින කිහිපයක් තබා සාදාගත් ද්‍රාවණය නැවත කසළ මතට ඉසිමෙන් මෙම තත්වය සම්පුර්ණයෙන් පාලනය කලහැකිය. ‍තවද මෙය දුර්ගන්ධය පාලනය කිරිම සදහා නව ක්‍රම අත්හදා බැලිමේ එක් ක්‍රියාමාර්ගයකි.
කොම්පෝස්ට් වල ගුණාත්මය දියුණු කිරිමට ගෙන ඇති පියවර
• කසළ කොම්පොස්ට් බවට පත්විමේදී ස්කන්ධ අනුපාතය ඉතා වැදගත් සාධකයකි. එසේම කොම්පොස්ට් වල ගුණාත්මය දියුණු විමටද හේතු වේ.
• මේ බව හොදින් අවබෝධ කරගත් බලංගොඩ නගර සභාවේ නායකත්වය නගර සීමාවේ පවතින සත්ව ඝාතකාගාරයෙන් හා මාළු, මස් වෙළදසැල් වලින් එකතු වන ලේ මිශ්‍ර සත්ව අපද්‍රව්‍ය ජිර්ණය වෙමින් පවතිනා කසළ ගොඩවල් වල මධ්‍යයේ සැදු වලවල් වලට එක්කරනු ලැබේ.
• මෙම ක්‍රියාවලිය කොම්පෝස්ට් වල නයිට්‍රජන් ප්‍රමාණය ඉහල නැන්වීමට සෘජුවම ඉවහල් වේ.
• බලංගොඩ නගරසභා බල ප්‍රදේශය තුල වී මෝල් 4ක් පවතින අතර ඉන් සතියක් තුල දහයියා මෙ.ටොන් 1ක් පමණ උත්පාදනය වේ. මෙම දහයියා වර්ෂ 2004 වන විට තෙත් බිම් ගොඩකිරිමට යොදාගෙන තිබේ.
• පසුකාලිනව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් දහයියා අගුරු නිෂ්පාදනය ඔස්සේ යමින් බලංගොඩ නගරසභා කසළ කළමණාකරණ ඒකකයට මසකට දහයියා අගුරු කි.ග්‍රෑ 2500 ක් නිෂ්පාදනය කිරීමට හැකි විය.
• මෙලෙස සාදාගත් දහයියා අගුරු හා කොම්පෝස්ට් 1:100 අනුපාතයට මිශ්‍ර කිරිම සිදු කරනු ලැබේ.
• මෙම ක්‍රියාවලිය කොම්පොස්ට් වල ගුණාත්මය දියුණු විමට සෘජුවම බලපාන අතර එය කොම්පොස්ට් වලට අවශ්‍ය තෙතමනය 15% දක්වා වැඩිකිරිමට හේතු වෙයි.
• බැටරි හා හිස කෙස් දෛනික කසළ ප්‍රවාහනට එකතු වන අතර කොම්පොස්ට් නිපදවිමේ දී ප්‍රධාන ගැටලුවක් ව පවති. බැටරි හා ‍හිස කෙස් එකතු විමෙන් කොම්පොස්ට් වල ගුණාත්මය බාල විමක් සිදුවෙයි.
• මනා ප්‍රජා දැනුවත් කිරිම හා සුදුසු නිති සම්පාදනය කරමින් බලංගොඩ නගර සභාව මෙම බාධකය මනාව ජය ගෙන ඇත.
• මේ අනුව සියළුම බාබර් සාප්පු හිමියන් තම වැඩ බිමේ එකතු වන හිස කෙස් වෙනම උරවල බහාලා කසළ එකතු කරන වාහන වලට ලබාදෙයි. එමෙන්ම ඔරලෝසු සාදන්නන් ඉවත දමන ඔරලෝසු බැටරි වෙනම එකතු කිරිම කරයි.

 

මෙතෙක් නිෂ්පාදිත කොම්පොස්ට් පොහොර ප්‍රමාණ හා අලෙවියෙන් ලද ආදායම

වර්ෂය

 නිෂ්පාදිත පොහොර ප්‍රමාණය (Kg) ලැබු ආදායම රු. 
 2003  2,620  13,100.00
2004 25,830 12,915.00
 2005 92,530  212,650.00
 2006 210,420  1,050,000.00
 2007  265,400  1,256,000.00
 2008  324,650  1,540,425.00
 2009  385,660  1,345,660.00
 2010  432,650  2,135,400.00
 2011  545,420  2,947,400.00
 2012  119,180  1,059,375.00
2013 124,000 1,102,490.00
 2014  237,000  2,108,190.00
 2015 125,820 1,118,435.00
 2016  134,300  1,194,075.00
 2017 116,260  2,043,692.00
2018 135,000 1,033,975.00
 2019 87,500  791,177
 2020 201,000  1,809,272
 2021 185,000  1,859,109.21
2022 120,000 1,200,651.05

 

කසළ වෙන්කිරීමේ දී එක් රැස් වන නොදිරන කසළ වලට සිදුවන්නේ කුමක්ද?

කඩදාසි හා කාඩ්බෝඩ්

දෛනිකව එකතු වන කසළ වෙන් කිරිමේ දි කඩදාසි ප්‍රධාන කාඩ්බෝඩ්, පොත් හා පත්තර යන කාණ්ඩ 3ක් යටතේ වෙන් කරනු ලබයි. එක් සතියක් තුල බලංගොඩ නගර සභාව විසින් ප්‍රතිචක්‍රිකරණය සදහා කඩදාසි හා කාඩ්බෝඩ් දළ වශයෙන් කි.ග්‍රෑ 1000 ක් පමණ අලෙවි කරයි. මෙම කඩදාසි හා කාඩ්බෝඩ් ප්‍රාදේශීය ගැණුම්කරුවන් වෙත අ‍ලෙවි කරනු ලැබේ.

ප්ලාස්ටික්

දෛනිකව එකතු වන කසළ වෙන් කිරිමේ දි ප්ලාස්ටික් කාණ්ඩ දෙකක් යටතේ කාණ්ඩ කරනු ලැබේ. ඉන් පෙට් බෝතල් වෙනම එකතු කරන අතර අනෙකුත් සියළුම ප්ලාස්ටික් එකම කාණ්ඩයක් යටතේ කාණ්ඩ කිරිම සිදු කරයි. පෙට් බෝතල් එක කිලෝවක් රුපියල් 10-20 අතර මුදලකට අලෙවි කරන විට අනෙකුත් ප්ලාස්ටික් සියල්ලම පොදුවේ එකම මිලකට අලෙවි කරයි. එමෙන්ම කසළ සමග එන රිජිෆෝම් වෙනම එකතු කරනු ලබයි.

පොලිතින්

කසළ වෙන් කිරිමේ දි පොලිතින් වෙනම එකතු කරන අතර වර්ග කිරිමක්ද සිදු කරයි. එකතු කරන සියළුම පොලිතින් ප්‍රාදේශීය ගැණුම්කරුවන් වෙත අ‍ලෙවි කරනු ලැබේ.

යකඩ

දෛනිකව සිදුවන කසළ වෙන් කිරිමේ දි තහඩු, ටින් හා බෙලෙක්ක, යකඩ සහ ඇලුමිනියම් වශයෙන් වෙන් කරනු ලැබේ.මසකට කි.ග්‍රෑම් 375ක් පමණ ප්‍රාදේශීය ගැනුම් කරුවන් හට අලෙවි කරනු ලැබේ.

විදුරු

කසළ වෙන් කිරිමේ දි විදුරු බෝතල් වෙනම එකතු කරන අතර එවා සුදු හා දුඹුරු විදුරු බෝතල් ලෙස වර්ග කරනු ලැබේ. නමුත් කසළ සමග එන කාර්මික විදුරු(industrial glass) ප්‍රතිචක්‍රියකරණයට අලෙවි කල නොහැක. දෛනිකව එකතු වන බෝතල් සියල්ලම එකම මුදලකට ප්‍රාදේශී ගැනුම්කරුවන් හට ලබාදෙයි.

E - waste

තාක්ෂණයේ දියුණුවත් සමග ගෝලිය ආර්ථික රටාව තුල දුරකථන හා පරිගණක ඇතුලු විද්‍යුත් උපකරණ බහුලව භාවිතා කරනු ලැබේ. එමෙන්ම යල්පැන ගිය තාක්ෂණයෙන් යුත් උපකරණ කසළ ගොඩට දැමිම හා අනෙකුත් රටවලින් නොකඩවා ශ්‍රි ලංකාවට ගෙන ඒම හේතුකොට ගෙන වර්තමානය වනවිට e - waste සියලුම නාගරික කසළ කළමනාකරණ ව්‍යාපෘති වලට මහත් හිසරදයක් වි ඇත. බලංගොඩ නගර සභාව තුල ඒකරාශීවන e - waste වල අඩංගු ප්ලාස්ටික් කොටස් පමණක් විකිණීම සිදු කරන අතර කාබන් චිප් අඩංගු පරිපථ කොටස් අනාගත වෙළදපොළක් අපේක්ෂාවෙන් එකතු කරනු ලැබේ. නමුත් කසළ සමග එන සංයුත්ත තැටි ආර්ථික වටිනාකමක් ලබාදිමට සමත් වි නොමැති අතර මේවා බිම් පිරවිමට යොදා ගනි.

මෙමගින් ලබන ආදායමින් සේවකයින්ගේ අතිකාල දිමනා, සභාවේ විදුලි බිල්පත් වැනි දෑ ගෙවිම් සිදුකරනු ලබන අතර වසරකට වරක් සේවකයින්ව විනෝද චාරිකාවක් රැගෙන යාම සදහා ද එම මුදල් භාවිතා කරයි. ඉන් නොනැවතී සේවකයින්ට ණය සපයන අරමුදලක් ලෙස ද මෙම මුදල් යෙදවේ.

බලංගොඩ නගරසභාවේ කසළ කළමණාකරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පසු පස එහි නායකත්වයේ දැනුවත් විම, දැනුම බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිම, නව නීති හා රෙගුලාසි පද්ධතියක් හදුන්වා දීම, මානව හා භෞතික සම්පත් මනා කළමණාකරණය යන ක්‍රියාවලින්ගේ සංකලනය හේතු වි ඇති බව ඒ පිළිබද අධ්‍යනයේ දි මනාව පිළිබිඹු වේ.

වර්තමානයේ සෑම ව්‍යාපාරිකයෙකුටම කසළ බද්දක් හදුන්වා දි ඇති අතර කසළ බද්ද හා කසළ වෙන් වෙන් වශයෙන් වෙන් කරන ආකාරය පිළිබදව මුලික දැනුවත් කිරිමක් කර ඇත. නගරයේ සැම ව්‍යාපාරිකයෙක්ම දිනපතා එක්රැස්වෙන කසළ ප්‍රමාණය දිරන හා නොදිරන ලෙස වෙන් කර දිය යුතුය. ව්‍යාපාරික ප්‍රජාව මේ සම්බන්ධව මනා දැනුවත් කරීමක් කර ඇත. ඔවුන් හට කසළ බද්දෙන් මිදීමට කරුනු 09 ක් අනුගමනය කල යුතුව ඇත.

  1. ආයතනය තුළ උත්පාදනය වන කසළ ප්‍රධාන වර්ග දෙකකට වෙන් කිරිම.
  2. ඒවා වෙන වෙනම කසළ බදුන් තුළ රැස් කිරිම.
  3. දිරන හා නොදිරන කසළ වෙන් කිරිමට බදුන් 2ක් තැබිම.
  4. නොදිරන අපද්‍රව්‍යය එකතුකර ඒවා නගර සභාවේ දිරා නොයන අපද්‍රව්‍යය මිලදි ගැනීමේ මධ්‍යස්ථානයට අලෙවි කිරිමේ ක්‍රමයක් සකස් කිරිම.
  5. කුමන හේතුවක් මත හෝ මාර්ගයට කසළ නොදැමීම.
  6. කිසිම වර්ගයක කෑම ඔතන පොලිතින් කොළ භාවිතා නොකිරිම.
  7. මුළුතැන්ගෙයින් හා නාන කාමරයෙන් පිටවන අපජලය ප්‍රධාන කානුවට නොයැවිම.
  8. කිසිම විටක නිෂ්චිත ස්ථානයක් වෙන් කර නොමැති නම් සිගරට් අලෙවි නොකිරිම.
  9. තම වෙළද ආයතනය තුල සිටින සියළු සේවකයන් මේ පිළිබද දැනුවත් කිරිම.

මේ ඔස්සේ යමින් 2005 වර්ෂයේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා තරගයේදී පළාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනා ගන්නා ලදී.
එමෙන්ම එක් මාසයක් තුල මිනිස් දින 300 ක මිනිස් බලයක් හා යාන්ත්‍රික උපකරණ කාර්යක්ෂමව යොදාගනිමින් ද පවතින සුළු ඉඩ ප්‍රමාණය මනා කළමණාකාරිත්වයක් ඇතිව යොදාගනිමින් සාර්ථක ව්‍යාපෘතියක් පවත්වාගන යයි. එපමණක් නොව ආනෙකුත් නගරසභා හා ප්‍රදේශිය සභාවන් හි පවත්නා කසළ කළමණාකරණ ව්‍යාපෘති හා සම්බන්ධ නිලධාරින් පුහුණු කිරිමේ හා දැනුම බෙදාගැනිමේ වැඩමුලු පවත්වමින් තමන් ලත් දැනුම හා අද්දැකිම් අන් අයට බෙදා දිමේ මහගු කාර්යභාරය සිදුකරමින් සිටි.

අනාගත අපේක්ෂාවන්

• නගරයේ සැම නිවසකම ඉවතලන අපිරිසිදු ජලය ඉවත් කිරිම සදහා පහසුකම් සලසමින් ඉදිරියේ දි බළන්ගොඩ නගර සභාව විසින් විධිමත් නළ පද්ධතියක් ස්ථාපිත කිරිම.
• අපවිත්‍ර ජලය පිළියම් කරන තෙත් බිමක් ඉදිකිරිම හා එය නගරයේ සුන්දරත්වය ඔපවත් වන අයුරින් ඉදිකිරිම.
• බළන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ නිවෙස් වල එකතු වන ප්‍රතිචක්‍රිය ද්‍රව්‍යය මිලදී ගැනිමට යතුරු පැදියක් සමග සේවකයකු යෙදවිම.

බළන්ගොඩ නගර සභා කොම්පෝස්ට් ව්‍යාපෘතිය සදහා ගමන් මාර්ගය

බලන්ගොඩ රාස්සගල පාරෙහි මීටර් 400 ක් පමණ දුරක් ගමන් කල විට සදුන්ගම අතුරු මාර්ගය හමු වේ. එහි සිට කි.මි.2 ක් පමණ ගිය විට මෙම ස්ථානයට ලගා විය හැකිවේ.
මෙහි අද වනවිට සේවකයින් 17 දෙනෙකු සේවයේ යෙදෙන අතර පෙ.ව.7.30 සිට ප.ව.4.30 වන තෙක් විවෘතව පවතී.
වැඩි විස්තර සදහා 045-4930830 අංකය ඇමතීමට ඔබට පහසුකම් සලසා ඇත.

 

© ප්‍රකාශන අයිතිය බළන්ගොඩ නගර සභාව සතුවේ. වෙබ් නිර්මාණය බළන්ගොඩ නගර සභා තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් සංවර්ධන ඒකකය විසිනි.